කොටි සංවිධානයට පණ දෙන්න හදන 40ක් අල්ලන්න ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක්


ත්‍රස්තවාදය මෙරට තුළ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම වැළැක්වීමෙන් පසුව කොටි ඩයස්පෝරාව සමඟ එක්ව නැවත වරක් රට තුළ ත්‍රස්තවාදය ප්‍රතිසංවිධානය කිරීම සඳහා කටයුතු කරන ත්‍රස්තවාදී සංවිධායකයන් 40 දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබේ.

කොටි ඩයස්පෝරාව සමඟ ජාත්‍යන්තර කොටි ජාලයට එක්වී නැවත වරක් මෙරට තුළ කොටි සංවිධානය කිරීම සඳහා මොවුන් මෙරටට මුදල් ආදිය එවමින් විදෙස් රටවල සිටින ද්‍රවිඩ ජාතිකයන් නොමග යවමින් මහා පරිමාණ වැඩපිළිවෙළක් කරගෙන යන බව කොළඹ ත්‍රස්තවාදී විමර්ශන අංශය සහ බුද්ධි අංශ මඟින් කරුණු අනාවරණය කරගෙන තිබේ.

එසේ රතු නිවේදන නිකුත් කර සිටි කොටි ප්‍රබලයන් තිදෙනෙක් මලයාසියානු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන පෙරේදා (26) රාත්‍රියේ මෙරටට ගෙන එනු ලැබ තිබේ.

සන්ද්‍රලිංගම් රාජ් මහදේවන්, පිරුබා පිරුබාකරන් සහ ෂෙල්වතුරේ පිරිබානන්දන් යන කොටි තිදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. 1994 වර්ෂයේ කොටි සංවිධානයට බැඳී සන්ද්‍රලිංගම් රාජ් මුල්ලවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොටි දේශපාලන අංශයේ කටයුතු කර ඇති මොහු කොටින්ගේ ගුවන් බලකායට එක්ව සිට පසුව කොටි ගුවන් බලකායේ නායක ෂංකර්ගේ ඥාතියෙකුගේ දියණිය සමඟ විවාහ වී පසුව කොටි සංවිධාන කටයුතු සඳහා 2004 දී මැලේසියාවට ගොස් තිබේ.

මහදේවන් පිරුබාකරන් කොටි සංවිධානයට බැඳී සිට 1996දී නෝර්වේ රටට ගොස් කොටි ප්‍රචාරක කටයුතු සඳහා සම්බන්ධ වී නැවත මෙරටට පැමිණ කොටි සංවිධානයේ කටයුතු කර නැවත විදෙස්ගතවී කොටි ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ වී තිබේ.

සෙල්වතුරේ පිරුබානන්දන් නමැති අනෙක් සැකකරු 1989 - 99 කාලය තුළ කොටි බුද්ධි අංශයට බඳවාගෙන ඇත්තේ වයස අවුරුදු 14දීය. මොහු කොළඹ ප්‍රදේශයේ කොටි බුද්ධි තොරතුරු සෙවීමේ නිරතව සිට පසුව 2004දී මැලේසියාවට ගොස් ත්‍රස්තවාදී කටයුතුවල නියැළී තිබේ. මොවුන් කොටි ජාත්‍යන්තර ජාලයට කොටි ඩයස්පෝරාවේ ඕනෑ එපාකම් ඉෂ්ඨ කර මෙරට ද්‍රවිඩ වැසියන් යළි කොටි සංවිධානයට බඳවා ගැනීමේ උත්සාහයක යෙදී ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි. මොවුන් සමඟ එක්ව කොටි ඩයස්පෝරාව මෙරට තුළ යළි ඇති කිරීමට උත්සාහ කළේ කෙබඳු වැඩපිළිවෙළක්ද යන්න හෙළිකර ගැනීම සඳහා එම ප්‍රශ්න කිරීම් කරගෙන යයි.
dinamina
.

No comments

Entertainment