ප්‍රතිසන්ධාන කොමිසමේ කරුණු සියල්ල තහවුරු කළ හැකි ඒවායි
මානව හිමිකම් කොමිසම අමතමින් ඇමැති මහින්ද සමරසිංහ කියයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව අමතමින් සමරසිංහ මහතා එසේ ප්‍රකාශ කර සිටියේය.
අමාත්‍ය සමරසිංහ මහතා කළ කතාවේ සාරාංශයක් මෙසේ උපුටා දක්වමු.
සන්නද්ධ ත්‍රස්ත ගැටුම නිමාකොට සාමය ස්ථාපිත කිරීමෙන් පසු ගතවූ අවුරුදු 2 මාස 9 ක කාලයේ දී තිස් වසරක් තිස්සේ රටත් ජාතියත් මුහුණ දුන් අභියෝගයන් ජය ගනිමින් රට යථා තත්ත්වයට පත්කිරීම හා ප්‍රතිසංධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සෑහෙන ප්‍රගතියක් අත්පත් කරගෙන තිබේ.
හදිසි නීති රෙගුලාසි ඉවත් කරමින් පශ්චාත් යුද සමයේ ඇතිවූ නීතිය හා සාමය ස්ථාපිත කිරීම මගින් තවදුරටත් මෙරට සාමය තහවුරු විය. ස්ථාවර හා තිරසාර සාමයක් අත්පත් කරගැන්මේ ශ්‍රී ලාංකේය අභිලාෂයන් ද එමඟින් පිළිබිඹු විය.
30 වසරක ත්‍රස්තවාදය අපේ ජනතාවට පමණක් නොව ඔවුන්ගේ ජීවනෝපායන් දේපොළ හා යටිතල ව්‍යුහයන් කෙරේද බලපෑවේය. රටේ සමාජ වියමනටද ඉන් හානිවිය. මේ නිසා රජයේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ දී ආර්ථික සංවර්ධනය, පුනරුත්ථාපනය, යළි පදිංචිකිරීම ජීවනෝපාය සංවර්ධනය,, පමණක් නොව යුද්ධයෙන් විපතට පත් වූවන්ට විඳින්නට සිදුවූ මානසික පීඩාව කෙරේද සැලකිල්ල යොමුවිය.
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමට ඔවුන්ගේ කාර්ය නිමකිරීමට කාලය හා අවකාශය ලබාදිය යුතු බව මුල පටන් ම කියා සිටි මම එහි අතුරු ඬර්දේශයන් අන්තර්ජාතික ප්‍රජාව හමුවේ නිරන්තරයෙන් තැබුවෙමි. දැන් එම කොමිසමේ වාර්තාව හා නිර්දේශයන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති අතර දැන් එය ප්‍රසිද්ධියට පමුණුවා තිබෙන්නේ වාර්තා නිර්දේශයන් සම්බන්ධ රජයේ ස්ථාවරය ද සමඟය.
එම වාර්තාවේ සාම ක්‍රියාවලියේ අසාර්ථකත්වයට මූලික වූ කරුණු මෙන්ම අතීත වැරදි සවිස්තරාත්මකව විග්‍රහ කෙරිණ. ඒ අනුව ඉදිරියේ දී ක්‍රියාත්මක කළ යුතු නිර්දේශයන් දැක්විණ. පුද්ගලයන් 1000කට වැඩි පිරිසකගෙන් තොරතුරු රැස් කෙරිණ. 5000කට වැඩි සාක්කි සාධක ලැබී තිබිණි.
රහසිගතව විභාග කළ යුතුව තිබුණු සමහර කරුණු හැර සියලු විමර්ශනයන් විනිවිදභාවයෙන් සිදුවිය. මෙය එ.ජා. මහලේකම්වරයා ගේ උපදේශක මණ්ඩල විමර්ශනයෙන් වෙනස් වුණේ එම විමර්ශනයන් නිර්නාමික සාක්කිකරුවන් ගෙන් රහසිගතවම ලබා තිබුණු බැවිනි. එහෙත් උගත් පාඩම් වාර්තා සටහන් සියල්ල තහවුරු කළ හැකි ඒවා විය. කොමිසම සියලු කරුණු විභාග කළේත් හා නිර්දේශයන් සිදුකර ඇත්තේත් වගකීමෙන් යුතුවය. අවතැන්වූවන් යළි පදිංචිය, පූර්ව සටන් කරුවන් පුනරුත්ථාපනය හා සමාජගත කිරීම සැකකරුවන් රැඳවීම, අනවසර අවි ආයුධ හිමිකම වැළැක්ම ආරක්ෂක බලකායන් යෙදවීම, ඉඩම් ප්‍රශ්න, භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, සියලු ප්‍රජාවන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කිරීම ආදිය සම්බන්ධයෙන් කළ විමර්ශනයන් මත නිර්දේශයන් ඉදිරිපත්ව ඇත.
ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධයයි සැකපිට අත්අඩංගුවට ගැනුනු 4000ක පමණ පිරිස දැන් 225 දක්වා අඩුවී ඇත. බොහෝ අය මුදාහැරුණු අතර සෙස්සන් පුනරුත්ථාපනය කොට මුදාහැරිණ. මේ සංඛ්‍යාව මෙපරිද්දෙන් අඩුකර ගැනීමට හැකි වූයේද උගත් පාඩම් කොමිසමේ අතුරු නිර්දේශයන් මත ක්‍රියාත්මක වීම නිසාය. දැනට ඉතිරි පිරිසද කඩිනම් අධිකරණ ක්‍රියාවලියකට යොමු කෙරෙනු ඇත. අත්අඩංගුවට ගත්තවුන්ට සැලකිය යුතු ආකාරය සම්බන්ධයෙන් පවත්නා නීතිරීති පොලිසිය දැඩිවම අනුගමනය කර තිබේ. මේවා සම්බන්ධයෙන් ද කොමිසම විමසා බලා නිර්දේශයන් නිකුත් කර ඇත.
අවතැන් වූවන් යළි පදිංචි කිරීමේ රජයේ වේගවත් හා සංවිධානාත්මක ක්‍රියාවලිය අන්තර්ජාතික පැසසුමට පවා ලක්ව ඇත. 2009 මැයි වනවිට අවතැන්ව සිටි 290,000න් 2011 අවසන් වන විටත් ඉතිරිව සිටියේ 6647ක් පමණි.
මේ යළි පදිංචි කිරීම් සඳහා රජය ඩොලර් මිලියන 360කට වැඩි මුදලක් වැය කළේය. ඉතිරි අවතැන් පිරිස පමණක් නොව 2008 අප්‍රේල්වලට පූර්වයෙන් අවතැන්ව සිටින්නන් ද යළි පදිංචි කිරීම අඛණ්ඩව සිදුවේ. එ.ජා. වාර්තාවන්ට අනුව 2011 දෙසැම්බර් අවසානය වනවිට පවුල් 126524ක 421056ක් යළි උතුරු පළාතේ පදිංචියට පැමිණ තිබිණ. ඊට 2008 අප්‍රේල් මාසයෙන් පසු අවතැන් 223745ක් හා ඊට පූර්වයෙන් අවතැන් 197311ක් ඇතුළත්ව තිබේ.
ප්‍රතිසංධාන ක්‍රියාවලිය හා යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලියේ දී ආර්ථික සංවර්ධනය ද මූලික කාර්යභාරයක් සිදුකරන්නේය. උතුරු නැඟෙනහිර පූර්ව යුද බිම් ප්‍රදේශවල විශාල යටිතල ව්‍යුහ හා සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය. විදේශ දානපති ව්‍යාපෘති 27ක රජය නිමග්නව සිටින අතර ඉන් 23ක්ම උතුරු නැඟෙනහිර ක්‍රියාත්මක වෙයි. නිවාස, මාර්ග, පාලම්, පාසල්, රෝහල් හා වාරිමාර්ග යෝජනා ක්‍රමද ඊට ඇතුළත්ය. ඉහත ව්‍යාපෘතිවලින් 7ක් එකක් ඩොලර් මිලියන 50 බැගින් වැයවන අතිවිශාල ව්‍යාපෘතිය. උතුරේ, යාපනයේ දිස්ත්‍රික්කයේ පමණක් යටිතල සංවර්ධන කටයුතු සඳහා යන වියදම ඩොලර් මිලියන 300කි. කිලිනොච්චියේ හා මඩකලපු දිස්ත්‍රික්කවල පිළිවෙළින් ඩොලර් මිලියන 250 හා ඩොලර් මිලියන 150 බැගින් වැය කෙරේ.
යුද්ධය අවසන් වූ තැන් පටන් උතුරු පලාතේ ආර්ථික වර්ධනය 22%ක් ලෙස වාර්තා වී ඇති අතර 2011 ශ්‍රී ලංකා දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 8%ක් ලෙස සටහන්ව තිබේ.
ආයෝජන ප්‍රවර්ධනය සැලකීමේ දී අක්කර 25ක භූමිභාගයක සංවර්ධනය කෙරෙන අච්චුවේලි කාර්මික කලාපයට දේශීය විදේශීය ආයෝජකයින් 40ක් පමණ ආකර්ෂණය වනු ඇතැයි අපේක්ෂිත අතර 6000කට පමණ ඉන් රැකියා උත්පාදනය වනු ඇත. එහි දෙවන අදියරේ දී තවත් අක්කර 67ක් ඊට එක් කෙරේ. පලාලි ගුවන් තොටුපොළ හා කන්කසන්තුරේ වරාය මේ කාර්මික කලාපයට ආසන්නව තිබෙන බැවින් එහි වාසියද ඊට අයත්වනු ඇත.
රටේ පශ්චාත් යුද අවස්ථාවන් උරගා බැලීමට අවශ්‍ය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් මෙහිදී බිහිවනු ඇත. ත්‍රස්තයන් විනාශ කළ උතුරු දුම්රිය මාර්ගයද දැන් යළි ඉදිවෙමින් පවතී.
සැමදාම සිදුවන පරිද්දෙන් මේ සැසිවාරයන්ගේ කටයුතු මෙහෙය වීමේදී ද මමත් මගේ නියෝජිත පිරිසෙත් පූර්ණ සහයෝගය ලැබෙනු ඇති බවට මම සහතික වෙමි.
උපුටා ගැනීම-දිනමිණ
.
No comments